Saturday, November 24, 2018

ලොවක් කැලඹූ ජමාල් කෂෝජීගේ කුරුරු ඝාතනය. (Part 01)

ඔහුගේ ඝාතනය තවමත් ලොව විරොධතා ඇතිකරනවා

ජමාල් කෂෝජී කියන්නේ සවුදි ජාතික ආන්දෝලනාත්මක නිර්භීත මාධ්‍යවේදියක්. පෑනට එහා ගිහින් ඔහු මාධ්‍ය ප්‍රධානියෙකු ලෙස ඉහල තනතුරු පවා දරලා තියෙනවා. මිය යනවිට ඔහු ලෝක ප්‍රසිද්ධ වොශින්ටන් පොස්ට් පුවත් පතේ මාධ්‍යවේදියෙක් වූ අතර, ඔහු අල් අරබ් යන අරාබි පුවත් නාලිකාවේ හිටපු ප්‍රධානී ලෙස කටයුතු කර තිබුනා. මොහු නිතර ගැටුනේ එසේ මෙසේ අය එක්ක නම් නොවේ. කුරුරු කම්වලට සුප්‍රසිද්ධ සවුදි රජපවුල විශේෂයෙන්ම ඔටුන්න හිමි මොහම්මද් බින් සල්මාන් (MbS) එක්ක ජමාල් නිතර පෑනෙන් සටන් කලා. ඔක්තොබර් 2 ජමාල්ට විශේෂ දවසක් උනා. ඔහුගේ විවාහ ගිවිස ගත් පෙම්වතිය එක්ක නිත්‍යානුකූල විවාහයකට ඇතුල් වෙන්න අවැසි ලිපි ලේඛන ලබාගන්න ඔහු තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර කොන්සල් කාර්යාලයට ගියා. උපන්දිනයට දවස් එකොලහක් තියාගෙන පනස් නව හැවිරිදි ජමාල් කොන්සල් කාර්යාලයට ගියේ යම් චකිතයක් ඇතුව. මොකද ජමාල් නිර්භීත උනත් මෝඩයෙක් නොවේ. ඔහු දැනගෙන හිටියා ඔහු හැප්පෙන්නේ කා එක්කද කියලා. ඒවගේම ජමාල් කියන්නෙත් බලවත් පවුලක කෙනෙක්. ඔහුට සාමාන්‍ය ජන මාධ්‍යවේදියෙකුට වඩා සබදතා හා තොරතුරු ජාලවලට හිමිකම් තිබුනා.



නමුත් අවාසනාවකට ජමාල් බලාපොරොත්තු වුනාට වඩා බරපතල සැලසුමක් කොන්සල් කාර්යාලය ඇතුලේ සිදුවෙමින් පැවතුනා. ලැබෙන තොරතුරු අනුව ජමාල් කොන්සල් කාර්යාලයට ගිහින් තිබුනේ යම් සිදුවීමක් බලාපොරත්තුව. අත් අඩංගුවට පත් වීමක්, පැහැර ගැනීමක් වැනි යමක්. නමුත් මොහොතකටවත් ඔහු නොහිතන්න ඇති ඔහු එන තෙක් තුර්කියට කුමරුගේ පුද්ගලික ජෙට් යානයෙන් පැමිනි මැරයන් 15 ක් කොන්සල් කාර්යාලය තුල සිටින වගත්, අති අමානුශික ලෙස ඔහු මරා දමන්නට ඔවුන් තත්පර ගනිමින් ඒ තුල සිටින වගත්. මුලු දිවිය පුරාවටම අවදානම ගනිමින් වාර්ථාකරනයේ නිරතවුන, බින් ලාඩන් සමග පවා තොරතුරු ගණුදෙනු කර තිබු මේ නිර්භීත මාධ්‍ය කරුවා ඔක්තොබර් දෙක තුර්කි වේලාවෙන් හවස 1 යි 14 ට පමණ ඉස්තාන්බුල් කොන්සල් කාර්යාලයට ඇතුල් වෙනවා. කොන්සල් කාර්යාලයේ දොරටු පාලක හිස නමා ආචාර කොට ඔහුව ඇතුලට ගන්නා අතර, ඇතැම් විට සිදුවන්නට යන දේ ඔහු නම් දැන ඉන්නට නැත.

 ඇට සහිත මස් කපන කියතක් (Bone Saw)


දැනට ඔහුගේ මරණය පිලිබද බොහෝ මත ඇතිමුත් බොහෝ දුරට තහවුරු වී ඇති සිද්ධාන්තය නම්, ඔහු ඉස්තාන්බුල් කොන්සල් වරයා ඉදිරියේදී වද බන්දනවලට ලක්කොට, පණ පිටින් සිටිය දී ඇට සහිත මස් කපන කියතක් මගින් කැබලිවලට කපා ඇසිට් වල දිය කොට ඇති බවයි. එමෙන්ම මේ සියලු ක්‍රියා දාමය වීඩියෝ කර ඇති බවත් , ජමාල් ගේ ඇගිලි ද එම වීඩියෝව සමගින් සවුදියට යවා ඇති බවත් කියැවෙනවා. කුරුරු චිත්‍ර පටයක දර්ශණ සිහි වී මෙය ඇත්තක් දැයි අපට හැගෙන්නට ඉඩ ඇති මුත් සවුදි රජ කුමරුන් හා ඉහල රජ පවුගේ සාමාජිකයන් ගේ කුරුරු කම් වල ඉතිහාසය දන්නා ලොවට මෙය අදහන්නට එතරම් අපහසු නොවිය යුතුය. සවුදි යන ගෘහ සේවිකාවන්ට සිදුවන දේ ගැන සිතන විට මෙවැනි විදෙස් රටකට සිය දඩ බල්ලන් යවා රජ පවුල කල මේ කුරුරු අපරාධය මෙයට වඩා තවත් බිහිසුනු වන්නට මිස මෘදුවන්නට නම් ඉඩක් ඇත්තේම නැත.

Hatice Cengiz  ඔහුගේ විවාහ ගිවිස ගත් පෙම්වතිය

ඩොලර් බිලියන ගණනින් ආදායම් ලබන සවුදි රජ පවුලට, මිනිසුන් වහලුන් සේ දකින මොවුන්ට මේ ඝාතනය ඉතා සුලු දෙයක් වුවත්, මාධ්‍ය නිදහස හා මානව අයිතීන් ඉහලින්ම සැලකෙන ලෝකය මේ සිද්ධිය ඉතා තදින් ග්‍රහණය කර ගත්තා. මෙය ඔක්තෝබර 2 දින පසුවී දින දෙක තුනක් යනවිට ලෝක බලවතුන්ගේ සෘජු අවධානයට වෙසෙසින්ම ඇමරිකානු ජනතාවගේ අවදානයට මෙම සිදු වීම ලක් වුනා. ජමාල් ගේ මරණයෙන් පසු තත්වය අපි ඊලග ලිපියෙන් බලමු.








No comments:

Followers