Saturday, September 23, 2017

ඔවුන්ට වෛර කිරීමට පෙර සිතා බලන්න



"ඩොක්ට අද strike කරන්නේ නැද්ද?"
සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස සේවය ආරම්භකරලා මාස දහයක් සම්පූර්ණවූ අද දවසේ වෙනදාටත් වඩා කලින් ලෑස්ති වෙලා වාට්ටුවට දිහාවට හදිස්සියේම දුවන මාව දැක්ක ගමන් ලෙඩ්ඩු අහපු ප්‍රශ්නයක්.
වෛද්‍ය වැඩ වර්ජන පිළිබඳ සමාජයේ තියෙන වැරදි ආකල්පය පෙන්වන්න මීට වඩා හොඳ උදාහරණයක් තවත් නෑ.
“Strike කියලා වාට්ටු වහන්න පුලුවන්ද?” මම සිනහස මුසු මුහුණෙන් කියාගෙන ගියෙමි.
Strike එකක් තියෙනවද කියලා ඊයේ හවස ඉඳල මගේ phone එකෙයි facebook එකෙයි පණිවිඩ වැහිවැහැලා.
“ඔව් මචන් strike එක තියෙනවා. OPD සහ clinic විතරයි නැත්තේ. වාට්ටු, ශල්‍යාගාර සහ සියලු හදිසි සේවා සාමාන්‍ය විදියට වැඩ. බය වෙන්න දෙයක් නෑ. අමාරු නම් OPD එකට කියලා වාට්ටුවකට admit උනා නම් ප්‍රතිකාර ගන්න පුලුවනි.”
වැඩ වර්ජනයක් දවසේ රෝහලක් ‍ඇතුලේ කොහොම වාතාවරණයක් ඇත්ද?
විද්‍යුත් මාධ්‍යයෙන් නම් මම ඉහළින් දාලා තියෙනවා වගේ OPD එකේ බලු බල්ලෙක් නැති වයසක තාත්තා‍ කෙනෙක් බිම බුදියගෙන ඉන්න ෆොටෝ එකක් දාලා කියයි රටේ මුලු සෞඛ්‍ය සේවාව අඩපණවී ඇත කියලා.
ඒ කතාවෙත් ඇත්තක් නැතුව නෙවෙයි. ඒත් OPD එක කියන්නේ ඉස්පිරිතාලේ එක පොඩි කොටසක් පමණයි කියන එක සමහරුන්ට ඒතරම් තේරුමක් නැති බවක් පේනවා. ඒත් ඉස්පිරිතාලයක් ඇතුලේ ඊට වඩා ගොඩක් දේවල් සිද්ධ වෙනවා.
උදෑසන රෝගීන් බැලීම මම පුරුද්දක් විදියට උදෑසන 7ට කලින් ආරම්භ කරනවා. වෛද්‍ය වාට්ටුවක (නැත්නම් සාමාන්‍ය ජනවහරින් උණ වාට්ටුවක) සේවය කරන මට සාමාන්‍යයෙන් වාට්ටුවේ ලෙඩ්ඩු දවසට දෙතුන් පාරක් පරික්ෂා කර බලන්නට වෙනවා. උදෑසන ලෙඩ්ඩු ටික බලල එනකොට 8 පහු වුනා. මේ ටිකට අලුත් ඇඩ්මිශන් 8ක් විතර ඇවිත් තිබුනා. ඇඩ්මිශන් කොල ටික අතට අරගෙන බලාගෙන යනකොට දෙන්නෙක් ඇරුණු කොට අනිත් හය දෙනාම පොඩි පොඩි අමාරු වලට OPD එකෙන් බේත් අරන් යන්න ආපු උදවිය බව තේරුම් යන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.
ඒ මදිවට අද clinic දවසක් නිසා වාට්ටුවේ එක් වෛද්‍යවරයෙක් ඇරුනාම අනිත් සේරම clinic එකට යනවා. ඉතින් මම උදේ පැයක් හමාරක් වාට්ටුවේ ලෙඩ්ඩු බලල ඉවරකළාට පස්සේ තමා ‍ඒ කාලය තුළ ආපු admission ටික බලන්න වෙන්නේ. ඉතා හදිස්සි රෝගියෙක් නොවේ නම් කවුරුත් සාමාන්‍යයෙන් මගේ උදේ ward round එකට බාධා කරන්නේ නෑ. OPD එකෙත් රස්තියාදු වෙලා ආපු ලෙඩ්ඩු මේ වෙනකොට වාට්ටුවෙත් පැයක් ‍විතර බලං හිටපු නිසා ටිකක් ප්‍රවේශමෙන් කතා කරන්න ඕන බව මට තේරුණා.
“මොකද්ද ම‍හත්තයෝ මේ කරන ‍විකාරේ. ඇයි මෙහෙම ‍මිනිස්සුන්ගේ වෙලාව නාස්ති කරන්නේ ඔයාලගේ වාසි බලාගෙන? අපි දැන් කීයේ ඉඳලද මෙතන බලන් ඉන්නේ?”
මම සියල්ල සාවදානව අසා සිටියෙමි.
“බලන්න ප්‍රමාද උනාට සමාවෙන්න. ඔයා විතරක් නෙවෙයි නේ මෙතන ඉන්න ලෙඩා. වාට්ටුවෙ ලෙඩ්ඩු බලන වෙලාව මේක. හදිස්සි ලෙ‍ඩෙක් ඇරුනුකොට ඒවෙලාවට ආවොත් ටිකක් ඉන්න වෙනවා ඉතින්. Strike දවසක් උනත් නැති දවසක් උනත් එකේ වෙනසක් නෑ. අනික මට කලින් තව මහත්තයෙක් ඔයාව බලලයි එවලා තියෙන්නේ වාට්ටුවට. ඒ මහත්ත‍යා හදිස්සි නම් මේ කොලේ ලියලා එවනවා” මම කියාගෙන ගියේ ඇඟට නොදැනීම.
මේ ටික ඇහුනට පස්සේ ඒ තාත්තා සද්දයක් නෑ.
“මොන අමාරුවටද අද ඉස්පිරිතාලෙට ආවේ?”
“ඔලුව කැරකෙනවා ව‍මනේ යනවා. මට සෑහෙන කාලෙක ඉඳල සීනි ‍තියෙනවා.”
මිස් CBS එකක් බලන්න. හෙදියට මම කීවෙමි.
CBS – 523.
“තාත්තේ සීනි හොඳටම වැඩීනේ? බේත් ගන්නේ කොහෙන්ද?”
“මහත්තයලාගේ clinic එකෙන්ම තමයි. කොහෙද අපි එන හැම දවසකම strike නේ. ඉතින් බේත් කොහෙන්ද?”
වැඩ වර්ජනය පිළිබඳ වැරදි ආරංචි වල ගොදුරක් බවට මේ අසරණ පියා ගොදුරුවී ඇති බව මට තේරුම් යන්නට වැඩි වේලාවක් ගතවූයේ නෑ.
“ඒක බොරු කතාවක් නේ. අදත් clinic දවසක්. මම විතරයි වාට්ටුවේ ඉන්නේ. අද අනිත් දොස්තරලා ‍ඔක්කොම clinic ගිහිල්ලා මොනවා කරනවා ඇති කියලාද තාත්තා හිතන්නේ?”
“ඒ මහත්තුරු ‍නිවාඩු දාලා ගෙදර වෙන්නැති.” ඔහු කියන්නත් පෙර මම මේ පිළිතුර අපේක්ෂා කළෙමි.
“Strike කියලා කාටවත් ගෙදරට වෙලා ඉන්න බෑ. අනිවාර්යයෙන්ම සේවයට වාර්තා කරන්න ඕන. රෝහල ඇතුලේ ඉන්න ඕන. වාට්ටු වල ලෙඩ්ඩු බලන්න ඕන. Clinic වලත් report බලල පොත් ලකුණු කරලා බේත් දෙන්න ඕන. සීනි, පෙශර්, පපුවේ අමාරු වැඩි වෙන්න එක දවසක් බේත් නොබී හි‍‍ටියොත් හොඳටම ඇති. OPD වල බේත් අරන් ගෙදර යන්න විතරයි බැරි. මේ ඕනම අවස්ථාවක අමාරු ලෙ‍ඩෙක් ආවොත් බලන්න ඕන. තාත්තා clinic එකට ඇවිත් බේත් නොදී හරවලා යැව්වද?”
ඔහු නිරුත්තරයි. ඔහු කාගේ හෝ බොරු ආරංචියක් අසා පිට පිටම clinic පැමිණ නැති බව පොත බැලූ විට මට වැටහුනි.
“දැන් අද ඔයා අමාරුවෙලා ආවම අද බැලුවේ නැද්ද OPD දොස්තර?”
ඔහු බිම බලාගෙනය.
කවුද මේවට වගකියන්නේ?
වෛද්‍යවරු විදියට ජනතා‍වගේ ප්‍රශ්නයක් වෙනුවෙන් අරගල කරන අපිටම තමයි වැරැද්ද පටවන්නේ කවුරුත්. ඒත් අවධානයෙන් මේ සිදුවීම දිහා බලන බුද්ධිමතෙකුට වැරැද්ද වෙලා ‍තියෙන තැන තේරෙනවා.
ජනතාවට වෛද්‍ය වැඩ වර්ජනයකදී රෝහලක් ක්‍රියාත්මක ‍වන ආකාරය පිළිබඳව මාධ්‍ය මඟින් කාවද්දලා තියෙන වැරදි අදහසයි මේකට මූලික හේතුව.
මේ වෙලාවේ හදිස්සියෙම වාට්ටුව භාර කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා පැමිණියා.
“පුතා shall we do a quick round?”
සර් සමඟ වාට්ටුවේ ලෙඩ්ඩු ඉක්මණින් බලා ඉවරකරලා මම නැවතත් කපපු ටිකට් ටික උස්සන් ආවේ discharge summary ටික ලියලා ඉක්මණට ටිකට් කපපු ලෙඩ්ඩු ටික ගෙදර යවලා වාට්ටුව හිස් කරන්න. ඒ අද අද OPD බෙහෙත් දෙන්නැති නිසා වාට්ටුවෙන් බේත් දෙන්න කියලා ලෙඩ්ඩු සේරම ඇඩ්මිට් කරන නිසා. මේ ලෙඩ්ඩු ඔක්කොම පහුවදා සර් බලන තුරු අපිට වාට්ටුවේ ති‍යාගෙන ප්‍රතිකාර දෙන්න වෙනවා.
‍උණ වාට්ටුවක් උනත් සමහර වෙලාවට ශල්‍ය වෛද්‍යමය ගැටලු සහිත ලෙඩ්ඩුත් අපේ වාට්ටුවේ ඉන්නවා. ඉතින් ඒවගේ අවස්ථාවක අපිට ශල්‍ය වෛද්‍ය අංශයේ උපදෙස් ලබාගන්නට වෙනවා. ඉතින් මේවගේ ලෙඩෙක් ගැන වැඩි උපදෙස් ගන්නයි ඉන්පසු මම ශල්‍යාගාරය පැත්තට ගියේ.
ශල්‍යාගාරයේ නම් strike එකක පාටක්වත් තිබුනේ නෑ.
එක් පැත්තක ගැබ්බර අම්මලා තුන්දෙනෙක් සීසර් කරන්න ගෙනත් සුදානම් කරලා තිබුනා. තව හදිස්සි අනතුරු වෙලා ආපු කීපදෙනෙකුත් ශල්‍යකර්ම වලට සුදානම්වී සිටියා.
“සර්ව නම් හම්බ‍වෙන්න වෙන්නේ නෑ. සර් emergency surgery එකක්.” ශල්‍යාගාරයේ හෙදියක් කියාගෙන ගියේ මම පිටතට වෙලා බලන් ඉන්නවා දැකලයි.
“හරි මිස් ඉවර උනාම කියන්න ward 08 එකේ referral එකක් සර්ට තියෙනවයි කියලා. Urgent නෑ කියන්න.”
මම රෝගියාවත් රැගෙන ආපසු ආවේ ඔහුට වඩා අවදානමක ඇති රෝගියෙකුට ප්‍රතිකාර කරන ශල්‍ය වෛද්‍යවරයාට බාධා කරන්නට නොහැකි නිසා.
වෙලාව දවල් ‍12යි.
Clinic එක ඉවර කරලා මගේ අනෙකුත් ‍සහෝදර වෛද්‍යවරු නැවත වාට්ටුවට ඇවිත් හිටියා.
“අදත් හාරසීයක් විතර හිටියා බන්. තුන්සිය ගානක පොත් බැලුවා. සීයක් විතර ඇතුල‍ට අරන් බැලුවා අමාරුයි කියලා. මහන්සී බන්. උදේ ඉඳල කාලත් නෑනේ? තේ එකක් බොමු?”
කැන්ටිමට ගිහින් තේ එකක් බීලා ව‍ඩේ එකක් ගිලදැම්ම අපි බලන්නත් එක්ක OPD එක පැත්තෙන් ආපහු ‍ආවේ. වෙනදා වගේ OPD එකේ වෛද්‍යවරු පස් දෙනාම හිටියේ නෑ. ඒ වෙනුවට එක වෛද්‍යවරයෙක් බැනුම් අහ අහ ලෙඩ්ඩු කන්දරාව අතරින් අමාරු ලෙඩ්ඩු වැඩිදුර ප්‍රතිකාර වලට තෝරමින් සිටියා.
මේ ටික කියෙව්වම ඔයාලට හිතෙනවා ඇති ඇත්තටම මොකද්ද මේ strike කරන විදිහේ තේරුම කියලා.
Strike එකක් හැ‍ම වේලාවකම කෙරෙන්නේ මහජනතාවට අඩුම බලපෑමක් වෙන විදියට.
සාමාන්‍යයෙන් වෘත්තීය සමිති වලින් තමන්ගේ වෘත්තියට අදාළවයි ඉල්ලීම් කෙරෙන්නේ. නමුත් මේ strike එක අවංකවම අපේ ඉල්ලීමක් දිනාගන්න කරන එකක් නෙවේ.
මේ strike එක අඩු සුදුසුකම් සහිත වෛද්‍යවරු බිහිකිරීම සහ ඔවුන් සේව‍යේ යෙදවීමට ‍එරෙහිවයි ක්‍රියාත්මක වෙන්නේ.
අඩු සුදුසුකම් සහිත වෛද්‍යවරු බිහිවුනා කියලා දැනට සේවය කරන වෛද්‍යවරුන්ට තියෙන ගැටලුව මොකද්ද?
අපේ පවුල් වල අයට බේත් ගන්න අපිට පිට වෛද්‍යවරු අවශ්‍ය නෑ. ‍ඒ වගේම සුදුසුකම් තියෙන වෛද්‍යවරු හඳුනාගන්නත් අපි දන්නවා.
එතකොට කාටද බැරි?
ඔබට වෛද්‍යවරයෙකු ඉදිරියට බේත් ගන්න ගියහම කවදාවත් ඔහුගේ සුදුසුකම් මොනවද කියලා හොයලා බලන්න වෙලා තියෙනවද? නෑ නේද?
ඒ ලංකාවේ වෛද්‍ය සභාව නැමැති අපක්ෂපාතී ආයතනය මඟින් සියලු වෛද්‍යවරු ආරක්ෂිත බවට තහවුරු කරලා තියෙන නිසා.
නමුත් ඉදිරියේදි ඒක එහෙම නොවුනොත් ඔබේ නිදහස් සුරක්ෂිත සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට ඇති මූලික අයිතියට මොකද වෙන්නේ?
පොඩ්ඩක් හිතලා බලන්න.
සත්‍ය සිදුවීමකි.

No comments:

Followers