මා ඊයේ දිනයේ කොළඹ 07 පිහිටි රජයේ ආයතනයකට ගොඩ වැදුනේ මාගේ ආයතනයේ එක් කේෂ්ත්‍රයක ඉදිරි ගමනට අවශ්‍ය කරන අනුමැති සහතිකයක් ලබා ගැනීමටය. මීට සති දෙකකට ඉල්ලුම්පත ලබා දී තිබුණ බැවින් ඊයේ දිනයේ මට තිබුණේ සහතිකය රැගෙන යාම පමණි. මා එම ආයතනයට ගොඩ වැදුනේ සවස දෙකට පමණය. මා හැරුණු කොට එහි සිටියේ තවත් එක් අයැදුම්කරුවෙක් පමණි. මාගේ කාරණාව කී විට එක් සේවකයෙකු මට වාඩී වී සිටින ලෙස පැවසුවේය. පැය එකහමාරක් පමණ එහි තිබු සියලු පුවත්පත් කියවා අවසන් වුවද ඔවුන් මට කතා කළේ නැත. මේ වන විට මා දහවල් ආහාරයද රැගෙන සිටියේ නැති බැවින් මාගේ ඉවසීමේ සීමාව ද ඉක්මවා යමින් තිබූණි. " තව පරක්කු වෙයිද?" යනුවෙන් ඇසූ මට "පොඩ්ඩක් ඉන්න" යැයි පැවසු එහි සිටි නිලධාරියා ඉන් විනාඩි කීපයකට පසුව ෆයිල් කවරයක් රැගෙන පැමිණියේ ය." මේ ඇප්ලිකේෂන් එකේ හරියට අඩුපාඩු තියෙනවා..පොඩ්ඩක් අර මිස් ගාවට යන්න" යැයි පවසා මා මැදිවිය ඉක්මවූ කාන්තාවක වෙත යොමු කළේය. අප දෙදෙනා අතර ඇතිවුයේ මෙවන් දෙබසකි.
කාන්තාව: මේ සහතිකය දෙන්න බෑ.. මේ ඩොකුයුමන්ට්ස්වල තියෙන අඩුපාඩු දන්වලා අපි 01/ 08/ 2017 ලියුමක් එවලා තියෙනවා. ඒක හම්බු වුණාද?
මම: මට ලියුමක් ලැබුණේ නෑ..අනික මම මේ ඇප්ලිකේෂන් එක දැම්මෙත් සැප්තැම්බර් මුලදි නේ.
(පිළිතුරු නැත)
මම : දැන් මොනවද තියෙන අඩුපාඩු?
කාන්තාව: මුල්‍ය සහතික, බැංකු ගිණුම් වාර්තා දීලා නෑ.
මම: නිතීඥයෙක් සහතික කරපු පිටපත් දීල ඇති ඇප්ලිකේෂන් එකත් එක්ක, ඔය තියෙන්නේ ෆයිල් එක එක ඇතුලේ. ( ඇය එවා පෙරලා බලයි)
කාන්තාව : ආ මේකේ නම් දෙකක් තියෙනවා..කවුද අනෙක් එක්කෙනා?
මම: ඒ තමයි අනෙක් ඩිරෙක්ටර්.
කාන්තාව: ඉතින් එයාගේ නම කම්පනි එකේ නෑ නේ.
මම: ඔය දීල තියෙන Form 20 එක අරන් බලන්න කෝ...ඒකේ තියෙනවා.
කාන්තාව : ආ..එයාගේ නම තියෙනවා නේ ? මට හොයාගන්න බැරුව හිටියේ.
(මට දීර්ඝ හුස්මක් පිට විය.)
කාන්තාව: ඉස්සරහට වෙලා වාඩිවෙලා ඉන්න. මම දැන් හදලා දෙන්නම්.
විනාඩි දහයකට පමණ පසු සේවකයකු පැමිණ මුදල් කුවිතාන්සිය ගෙවා එන ලෙස මට දැන්වීය. එය ගෙවීමට පහල තට්ටුවට යා යුතු විය. මුදල් ගෙවීමට පෙර තවත් දෙදෙනෙකුගේ අත්සන් ගැනීමට මට සිදු විය. ඉන්පසු අදාළ සහතිකය ලබා ගැනීමට වෙනත් කාන්තාවක වෙත යා යුතු විය. මේ අප දෙදෙනාගේ සංවාදය යි.
ඇය: මේ සහතිකය ගත්ත වගේ නෙමයි ඉස්සරහට වැඩ කෙරන පිළිවෙලක් තියෙනවා..මල්ලිට තේරෙනවා නේ.
මම: ඒ කියන්නේ ජරාව දෙන්න ඕනද?
ඇය: ඕව්..දන්නවනේ ඒ තැන්වල හැටි. කට්ටිය අල්ල ගත්තේ නැත්නම් කිසි වැඩක් කරගන්න බෑ...හැබැයි මෙහෙ නම් එහෙම නෑ.
මම: ඇයි මෙහේ ඉන්න මාර්ගඵල ලාභීන් ද?
(ඇය හිස ඔසවා මා දෙස බැලුවේ සතෙකු ගොදුරක් දෙස බලන්නාක් මෙනි. )
ඇය : මෙහෙත් ජරාව ගන්න අය ඉන්නවා ඇති..ඒත් මම නම් එහෙම නෑ.
ඇය අත්සන දැමූ පසු මා ඉල්ලුම් කළ සහතිකය ලබා ගැනීමට හැකි විය.
මෙහි සේවකයන් ගමන් කරන්නේ පොළවට රිදේ යැයි සිතා විය යුතුය. ජංගම දුරකථනය අත තිබෙන නිසා මෙවැනි තැන්වල අපතේ යන කාලයෙන් පුවත්පතකට ලිපියක් හෝ ලිවිය හැකිය. එමගින් අවධානයත් වෙනතකට යොමුවන නිසා කේන්තියද පාලනය වේ.දුරකථනයක් මා අත නොතිබුණේ නම් ඉවසීමේ නහරයක් පුපුරා මිය ගොස් බොහෝ කල්ය.
(මෙය සංවර්ධනය වෙමින් පවතින රටක් නොවේ...කිසිදා සංවර්ධනය කළ නොහැකි රටකි.)
No comments:
Post a Comment